210701Meet2

‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ සුරැකීම පිළිබඳව දැනුවත් කිරීමේ රැස්වීමක් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලදුව, එහි ලේකම් ජෙනරාල් ආචාර්ය පී. එන්. මීගස්වත්තේ මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබිණ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත හා දුරස්ථ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය පට්ටිවිල මහින්ද ස්වාමීන්වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී, ආචාර්ය අනූෂා එදිරිසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සේපාල සමරසේකර සහ ආචාර්ය රවීන්ද්‍ර කුමාර විතානාච්චි ආදී වූ විද්වත් මහත්ම මහත්මීන්ද, ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ නිලධාරීන් ද ඇතුළු බොහෝ දෙනෙක් මෙම රැස්වීමට සහභාගි වූහ.

රැස්වීම ආරම්භයේදී පිළිගැනීමේ හා අරමුණු පැහැදිලි කිරීමේ කතාව කළ ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජෙනරාල් ආචාර්ය මීගස්වත්තේ මහතා යුනෙස්කෝ ආයතනය හා එහි පරමාර්ථ පිළිබඳවද, යුනෙස්කෝවේ වර්තමාන කාර්යභාරය ගැන සහ ‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ සුරැකීමේ වටිනාකම පිළිබඳව ද දීර්ඝව පැහැදිලි කළේය.

රටක සංස්කෘතියක ඇති වටිනාකම මේ වන විට ලෝකයේ සෑම රටක් විසින්ම අවබෝධ කරගෙන ඇති බවත්, සංස්කෘතිය තරම් ශක්තිමත් මෙවලමක් රටකට නැති බවත් පැවසූ එතුමා, යුනෙස්කෝ ආයතනයේ ක්‍රියාදාමයන් ඔස්සේ මේ රටේ යහපතට හා සංවර්ධනයට මෙන්ම, අපගේ සංස්කෘතියේ වටිනාකම් උද්දීපනයටද දැවැන්ත සේවාවක් ඉටු විය යුතු බව පැහැදිලි කළේය.

‘ස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ හා ‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ ගැන යුනෙස්කෝවේ අවධානය යොමුවී ඇති බව, දැනට ලෝක උරුමයන් එක්දාස් එකසිය හැට හතක් (1167) ප්‍රකාශයට පත්කර ඇති බව, ලෝකයේ බොහෝ රටවල් යුනෙස්කෝ සමග සම්බන්ධ වී තම ‘සංස්කෘතික උරුමයන්’ ‘ලෝක සංස්කෘතික උරුමයන්’ ලෙස ප්‍රකාශයට පත් කර ගෙන ඇති බව සඳහන් කරන ලද අතර ශ්‍රී ලංකාවේ ‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ සුරැකීම පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කොටගෙන මෙම රැස්වීම කැඳවූ බවද ලේකම් ජනරාල්තුමා විසින් පවසන ලදී.

කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කෙටි එහෙත් හරබර දේශනයක් කළ අතර ශ්‍රී ලංකාවේ අස්පර්ශ්‍ය උරුමයන් පිළිබඳ දැනුම සහ තොරතුරු දැනට විසුරුණු ස්වභාවයක පවතින බවත්, එසේ හෙයින්ම එය යම් බුද්ධිමය රාමුවකට ඇතුළත් කළ යුතු බවත්, ඒ සඳහා පැහැදිලි වේදිකාවක් දැන් නිර්මාණය වී ඇති බවත් පැවසීය.

අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන් මාතෘකා 13කට බෙදා විස්තර කරන ලද යම් විධිමත් ලේඛණයක් දැනට සැකසෙමින් ඇති බවද, අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය රටේ සංවර්ධනයට භාවිතා කරන්නේ කෙසේද, අපි ප්‍රවේණියෙන් ගෙන එන දැනුම් පද්ධතිය, පරිසර කළමනාකරණ විධික්‍රම, මානව විද්‍යාත්මක මතක සටහන්, සංස්කෘතිකමය වශයෙන් පුද්ගල ස්වයං ප්‍රකාශන විධි, සම්ප්‍රදායික තාක්ෂණ යෙදවුම්, අවට ලෝකය තේරුම් කරන ආකාරය, සම්පත් උද්ධරණය හා සම්පත් පරිහරණය කිරීමේ ආකෘතිය, අනනුභූතික හා අති භෞතික දැනුම යනාදී කරුණු ඔස්සේ අස්පර්ශ්‍ය උරුමය වර්ගීකරණය කරන බව සිත්ගන්නාසුළු උදාහරණද සහිතව විස්තරාත්මකව පැහැදිලි කළේය.

අනුන්ගේ ක්ෂිතිජයන් දෙස බලාගෙන අපගේ ක්ෂිතිජය ඇඳිය නොහැකි බවත්, ‘අපගේ ක්ෂිතිජය අපම කැටයම් කර ගත යුතු’ බවත් පවසමින් රාජ් සෝමදේව ශූරීහු දේශනය නිම කළහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී ජයතිලක මහත්මියද කෙටි දෙසුමක් පැවැත්වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශය විසින් මේ තාක් කල් අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන් විග්‍රහ කිරීමට හා සංරක්ෂණය කිරීමට ගෙන ඇති පියවර විස්තර කළාය.

රටට ජාතියට ප්‍රතිරූපය හා අනන්‍යතාව වන්නේ අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන් බව කරුණු සහිතව පැහැදිලි කළ එතුමිය, ශ්‍රී ලංකාවේ පැවැති මල්වර චාරිත්‍ර, කොටහළු යාග ආදියේ තිබූ විෂයානුබද්ධ වටිනාකම, දේව ඇදහිලි සහ වැව් ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජීවන පැවැත්ම තුළ ගැබ්ව තිබූ සිංහල අනන්‍යතාවන් ගැනද මනාව විස්තර කළාය.

සංචාරක ව්‍යාපාරයේ දී ද ‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ ආකර්ෂණීය ලෙස භාවිත කිරීමේ හැකියාව මෙන්ම ‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ විෂයය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද එතුමියගේ දෙසුමේ සඳහන් විය.

රැස්වීමේ සමාලෝචන කතාව කරමින් ලේකම් ජෙනරාල් මීගස්වත්තේ මහතා ‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ සුරැකීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන සංවිධාන ක්‍රියාමාර්ග පිළිබඳව චලරූ දර්ශනයක් (Power Point Presentation) උපයෝගී කරගනිමින් පියවරෙන් පියවර පැහැදිලි කළේය.

‘අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන්’ රැකගැනීම හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශක්තිමත් පියවර ගැනීම සඳහාත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකාවාසී ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම උදෙසාත්, දායක වීමට සියලු දෙනාට ආරාධනා කරමින් ලේකම් ජෙනරාල්තුමා මෙම රැස්වීමේ සමාප්තිය සනිටුහන් කළේය.