ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි යන දෙආකාරයේම උරුමයන්ගෙන් සංස්කෘතික උරුමය සමන්විත වේ. මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා යුනෙස්කෝව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වඩාත්ම විශිෂ්ට ස්ථාන සුවිශේෂී විශ්වීය වටිනාකම් ඇති ලෝක උරුම ස්ථාන ලෙස යුනෙස්කෝව විසින් නම් කරනු ලැබේ.මේ වන විට, ස්ථාන 814 ක් සංස්කාතික උරුමයන් ලෙසද, ස්ථාන 203 ක් ස්වාභාවික උරුමයන් ලෙසද, ස්ථාන 35 ක් සංස්කෘතික සහ ස්වාභාවික උරුමය යන දෙආකාරයෙන්ම සමන්විත මිශ්‍ර උරුමයන් ලෙස ද ලෝක උරුම ස්ථාන 1052 ක් නම් කරනු ලැබ ඇත.

යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට යම් ස්ථානයක් තෝරා ගැනීමේදි අවධානයට ලක්වන කරුණු ගණනාවකි. එහි කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් තිබිය යුතුය. මුලික තෝරා ගැනීමේ නිර්ණායක 10න් එකක්වත් සපුරාලන්නට හැකි විය යුතුය. ඒවා නම්,

  1. මානව නිර්මාණකරණ ඥානයේ විශිෂ්ටත්වය නියෝජනය කැරෙන අසහාය කලා කෘතියක් වීම;
  2. උද්‍යාන අලංකරණය, නගර සැලසුම්කරණය, ස්මාරක ඉදිකිරීමේ කලාව, වාස්තු විද්‍යාව හෝ තාක්ෂණය යනාදී ක්ෂේත්‍රයක සංවර්ධනය උදෙසා, කාලාන්තරයක් මුළුල්ලේ හෝ ලෝකයේ කිසියම් සංස්කෘතිකමය කලාපයක් ඇතුලත හෝ මානව ගුණාංගවල සිදු වූ වැදගත් අන්තර් හුවමාරුවක් ප්‍රදර්ශනය වන ස්ථානයක් වීම;
  3. වර්තමානයේ පවතින හෝ අතුරුදන්ව ගිය කිසියම් ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතික සම්ප්‍රදායකට අසහාය අන්දමින් හෝ නැතහොත් අවම වශයෙන් විශේෂිත මට්ටමකින් සාක්ෂි දරන ස්ථානයක් වීම;
  4. මානව ඉතිහාසයේ වැදගත් අවධියක ලක්ෂණ නිරූපණය කරන ගොඩනැගිලි වර්ගයක්, වාස්තු විද්‍යාත්මක හෝ තාක්ෂණික ඉදිකිරීමක් හෝ උද්‍යාන අලංකරණයක් සම්බන්ධයෙන් කැපී පෙනෙන උදාහරණයක් වීම;
  5. පරිසරය සමග මිනිසාගේ අන්තර්ක්‍රියාව හෝ කිසියම් සංස්කෘතියක් හෝ නියෝජනය කරන සාම්ප්‍රදායික මානව ජනාවාසයකට, ඉඩම් පරිහරණයකට හෝ මුහුදු භාවිතයකට කැපී පෙනෙන උදාහරණයක් වූ යමක් විශේෂයෙන් අප්‍රතිකාරී වෙනසක හේතුවෙන් තර්ජනයට ලක් වූ තත්ත්වයක පැවතීම;
  6. සිදුවීම් හෝ ජීවමාන සම්ප්‍රදායයන් සමඟ,අදහස් සමඟ හෝ විශ්වාසයන් සමඟ, විශිෂ්ට විශ්වීය වැදගත්කමක් සහිත කලාත්මක හෝ සාහිත්‍ය නිර්මාණ සමඟ ඍජුවම හෝ ස්පර්ශ කළ හැකි ආකාරයට සම්බන්ධව පැවතීම (මෙම නිර්ණායකය අනෙකුත් නිර්ණායක හා සම්බන්ධ කර යොදා ගැනීම වඩාත් යෝග්‍ය බව කමිටුව සලකයි) 
  7. විශේෂ ස්වභාවික සෞන්දර්යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශයක් හෝ අති උත්තම ස්වාභාවික සංසිද්ධියක් අන්තර්ගත ස්ථානයක් වීම;
  8. වැදගත් හා රූපණ ලක්ෂණ හෝ භූමි රූප සංවර්ධනයේ වැදගත් භූ විද්‍යාත්මක ක්‍රියාවලියක හෝ ජීවයේ පැවැත්ම පිලිබඳ වාර්තා ඇතුලත්ව පෘථිවි ඉතිහාසයේ වැදගත් අවධියක් නිරූපණය කෙරෙන කැපී පෙනෙන උදාහරණයක් වීම;
  9. සත්ත්ව හා ශාක ප්‍රජාව සහ ගොඩබිමෙහි ද මිරිදියෙහි ද වෙරළබඩ හා කරදියෙහි ද පරිසර පද්ධතීන්හි පරිණාමයේ සහ සංවර්ධනයේ වැදගත් පාරිසරික හෝ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් නියෝජනය කරන කැපී පෙනෙන උදාහරණයක් වීම;
  10. විද්‍යාත්මක හෝ සංරක්ෂණ දෘෂ්ටි කෝණයෙන් බැලු කල කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් ඇති, තර්ජනයට ලක් වූ විශේෂ දෑ ඇතුලත්ව, ජෛව විවිධත්වය හුන් තැනින්ම සංරක්ෂණය කිරීම සදහා වැදගත් වන ස්වාභාවික වාසභූමි ඇතුලත් ස්ථානයක් වීම;

මේවා අතර, ශ්‍රී ලංකාවේ ස්ථාන අටක් යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කරනු ලැබ ඇත. ඒවා නම්,

ලෝක උරුම ස්ථාන ලෝක උරුමයක් ලෙස නම් කල වර්ෂය අදාළ වන නිර්ණායක
අනුරාධපුර පුජනීය නගරය 1982 II, III, VI
පොළොන්නරුව පෞරාණික නගරය 1982 I, III, VI
සීගිරිය පෞරාණික නගරය 1982 II, III, IV
මහනුවර පූජනීය නගරය 1988 IV, VI
සිංහරාජ වනාන්තරය 1988 IX, X
ගාලු කොටුව 1988 IV
රංගිරි දඹුල්ල විහාරය 1991 I, VI
මධ්‍යම කඳුකරය 2010 IX, X

මධ්‍යම කඳුකරය සහ සිංහරාජ වනාන්තරය පමණක් ශ්‍රී ලංකාව තුළ පිහිටි ලෝක උරුම ස්ථාන වන අතර අනෙක්වා සංස්කෘතික උරුමයන් වේ.

ශ්‍රී ලාංකිකයන් ලෙස අප අපගේ උරුමය පිළිබඳව ආඩම්බර විය යුතු අතර ඒවා රැක ගත යුතුය.