Anuradhapuraශ්‍රී ලංකාවේ පළමු අගනුවර වූ අනුරාධපුරය වසර 1500ට වැඩි කාලයක් බලයෙන් හා සෞභාග්‍යයෙන් වර්ධනය වෙමින් පැවතිණි. ක්‍රි.පූ. 6 වැනි සියවස තෙක් මුල් දිවෙන මෙම නගරය ක්‍රි.පූ. 3 වැනි සියවසේ මෙහි පැමිණි බුදුදහම මත පදනම් වූ නව සංස්කෘතියක් බිහි කළේය. ලොව සුවිසල් පුරාවිද්‍යාත්මක ස්ථාන අතර අභිමානවත් ස්ථානයක් හිමි කර ගන්නා අනුරාධපුරය අගනුවර පමණක් නොව බුදුදහමේ වර්ධනය හා වඩාත්ම බැඳුණු නගරය ද විය.

මහා විහාරය, ජේතවනය, අභයගිරිය වැනි අති විශාල විහාර සංකීර්ණ මෙන්ම අක්කර 200ක පමණ පැතිරුණු ඇතුළු නුවරකින් ද සමන්විත මෙම නගරයේ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ වර්ග සැතපුම් 14 ක පමණ පැතිර පවතී. විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නටබුන් සහ විශිෂ්ට ප්‍රතිමා මේවා අතර වේ. මෙය 1982 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත.