dambulla1991 දී දඹුල්ල ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කරනු ලැබ ඇත. ගුහා ගණනාවකින් සැදුම් ලත් සුවිසල් පර්වතයක් මත දඹුලු විහාරය ඉදි කර තිබේ. වට්ඨගාමිණී අභය සමයේදී (ක්‍රි.පූ.1 වැනි සියවසේදී) මුළින්ම එය භාවිතය ඇරඹි බවට විශ්වාස කෙරේ. එවක් පටන් විවිධ ප්‍රතිසංස්කරණ සිදු කර ඇති අතර අවසන් ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදීය. ශ්‍රී ලාංකික බෞද්ධ කලාවේ හා ප්‍රතිමා ශිල්පයේ මධ්‍යස්ථානය සේ සැලකෙන මෙම සංකීර්ණ ව්‍යුහය බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව අනුරෑ හා දේව රූප 160 කින් පිරී ඇත. එහි වර්ග අඩි 20,000 ක් වසා බිතු සිතුවම් අඳිනු ලැබ ඇත. මහනුවර යුගයේ දියුණු වූ ඉතාමත් ලාලිත්‍යමය චිත්‍ර ශෛලියක් මෙම බිතු සිතුවම් වලින් පිළිබිඹු වේ.