යුනෙස්කෝ සංවිධානය
1945 දී ස්ථාපනය කරන ලද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත නියෝජිත ආයතනයක් වන අතර එහි මූලස්ථානය ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා ඇත. බහු පාර්ශ්වික සංවිධානයක් ලෙස එය ලොව පුරා සාමාජිකයන් 193 දෙනකු හා ආශ්රිත සාමාජිකයන් 11 දෙනකු ඒකාබද්ධ කරයි.
ඉතිහාසය
දේශපාලනික හා ආර්ථික ගිවිසුම් පමණක් සාමය ගොඩ නැඟීම සඳහා ප්‍රමාණවත් නොවන බව ලෝක යුද්ධ දෙක ඔප්පු කළේය. වඩාත් පැහැදිලි ලෙස කිවහොත් ‟යුද්ධ ඇරඹෙන්නේ මිනිසුන්ගේ සිත් සතන් තුළ බැවින් සාමය වෙනුවෙන් රැකවල් ඉදි විය යුත්තේද මිනිස් සිත් සතන් තුළය” (යුනෙස්කෝ ව්‍යවස්ථාව). යුනෙස්කෝ හි ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනය, ස්වාභාවික සහ සමාජ විද්‍යා, සංස්කෘතිය, සන්නිවේදනය හා තොරතුරු හරහා සාමය ගොඩනැගීම, දරිද්‍රතාව තුරන් කිරීම, තිරසාර සංවර්ධනය හා අන්තර් සංස්කෘතික සංවාදය වෙනුවෙන් දායක වීම වේ.
අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි ඇසුලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන යුනෙස්කෝ ලේකම් කාර්යාලය යුනෙස්කෝ මහ සම්මේලනය හා විධායක මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කරයි. යුනෙස්කෝ හි ඉලක්ක හා ප්‍රමුඛතා තහවුරු කර ගැනීම මෙන්ම අයවැය සැලසුම් කිරීම සඳහා සෑම වසර දෙකකටම වරක් මහ සම්මේලනය පවත්වනු ලැබේ. දෙවැනි මණ්ඩලය වන විධායක මණ්ඩලය වැඩ සටහන් ක්‍රියාත්කම කිරීම් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම පිණිස වසරකට දෙවරක් රැස් වේ.
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව (SLNCU)
ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ සංවිධානයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ රජයේ ආයතනය ලෙස ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව (SLNCU) ක්‍රියා කරයි. 1949 නොවැම්බර් 14 වැනි දින ස්ථාපනය කරන ලද මෙම කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අතර ගරු අධ්‍යාපන අමාත්‍ය වරයා එහි සභපතිත්වය උසුලයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා එහි උප සභාපති ලෙස ක්‍රියාකරන අතර මහ ලේකම් වරයා කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරි වේ. යුනෙස්කෝ විෂය පථයට අදාල අමාත්‍යාංශ සහ ජාතික ආයතන වල නියෝජිතයන් ඇතුළු සාමාජිකයන් 35 දෙනකුගෙන් මෙම කොමිෂන් සභාවේ මහ සභාව සමන්විත වේ. මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන ක්‍රියාකාරී අංශ වන්නේ අධ්‍යාපනය, විද්‍යා, සංස්කෘතිය සහ සන්නිවේදනයයි.